Friday, October 2, 2015

වැස්ස



වැස්ස නුඹ හරි පුදුම
මතක පොත හැමතැනම
පෙරළද්දි පිටු අතර
ඇද වැටුනෙ කඳුළු ලෙස ...

මගෙ ජීවිතේ ගොඩක් දේවල් වෙනකොට වැස්ස .විටෙකදි හයියෙන් තවත් විටෙක හිමින්.මාව හඩවමින් තෙමමින් නැතිනම් සනසවමින්.මුලින්ම ඉස්කෝලෙට ගිය දවසෙත් ශිෂ්‍යත්වය පාස් උනදාත්..මුලින්ම ආදරයක් ඇතිවෙද්දිත්.ඔව් කොහොම අමතක කරන්නද ඒ කහපාට පුංචි කුඩය.ඊටත් පස්සෙ ටික කාලයක් ගියා.කවුද හිතුවෙ එදා වැස්සෙම තෙමීගෙන යද්දි එයාව දැකපු අන්තිම දවස කියල.හ්ම්... කාලය වේගයෙන් ගියා.ලොකුවටම ඉඩෝරය අල්ලල තිබිල වහින් පටන්ගත්තු සැප්තැම්බරයක දවසක රෑ ගොඩක් ආදරය කරපු තාත්ත නැතිවෙනව.මෝචරියට ගාවට යද්දිත් වැස්ස කියල මතකයි.පාළු මිනී පිට්ටනියෙ ගම්මාලු ගහ යට මූසල කම ඕනවටත් වැඩිය වැස්සත් එක්ක වැඩිවෙලා තිබුන.

ඊටත් පස්සෙ පලවෙනි ඉන්ටර්වීව් එකට ගියෙත් හොදටම තෙමීගෙන.හිටපු පෙලක් වුන් හිනා උනා.මගෙ තෙමුනු ඇදුමටද නැත්නම් මනුස්සකමටද කියල මම තාම දන්නෙ නෑ.පස්සෙ සතියෙ මම වැඩට යද්දි මට හිනාඋන අයනම් හිටියෙ නෑ.පලවෙනි පඩිය අරන් ඒකෙන් අම්මට සාරියකුයි ගෙදරට බඩු ටිකකුයි අරන් යද්දිත් වැස්ස.එදානම් ඊටත් වැඩිය අම්ම ඇඩුව මතකයි.

තවත් කාලයක් ගිහින් ආයෙමත් ආදරයක් දැනෙනව කලින් වගේම.ඒකෙ නම් පුදුමයක් නෑ.මොකද කඳු පිරුණු ඒ පළාතට හැමදාම වහිනවලු.ඒ ලස්සන ඇස් දෙක ආයෙමත් දැකගන් ආසාවෙන් ඒ පැත්තෙ වැඩවලට මම බලෙන්ම ගියා.වැස්සකට අහුවෙලා කඩයක් අයිනෙ ඉද්දි ඒ ඇස්දෙක අයිති කෙනාම ලඟට ඇවිත් කතා කරනව.ඒකනම් පුදුමයක්.තමන් දකින් ආසවෙන් ඉන්න කෙල්ලම තමන්ගෙ ලගට ඇවිත් කතා කරන එක ඊටත් එයාගෙ අම්මත් එක්ක යනගමන් අම්මවත් දාලම ඇවිත්.එදානම් මම වැස්සට ගොඩක් ස්තූති උනා.මාස කීපයක් ගියා.ගොඩක් දෙවල් කතා කලා.ඒත් ආදරයක් ගැන වචනයක්වත් නෑ.ගොඩාක් දේවල් හිතේ තියන් කියන් යන දවසෙ එයා ආවෙ නෑ.ආරංචියක් එනව.එයාව ගෙදරින් වෙනකෙනෙකුට තීන්දු කරලලු.අම්ම තාත්තට විරුද්ධ වෙන්ත් බැරිලු.
 
එදා ගෙදර එද්දිත් වැස්ස.ඒක හොදයි.නැත්නම් මම අඩල කියල අම්මට උනත් පේනවනෙ.ආයෙත් ආදරය එපා මට.හැමදේම වෙනස් උනා.හිනාව පිළිවෙල පිරිසුදුකම වෙනුවට දුක තරහව අපිළිවෙල අපිරිසිදුකම ජීවිතේ අරක් ගන්නව.වැස්සත් නෑ.කාලෙකින් වහිනව.මීරියබැද්ද නාය යනව.යාලුවො හිටිය නේද කියල මතක් වෙලා කෝල් කරනව වැඩ ඇරිල යන ගමන්ම.මහව කෝච්චියෙ සද්දෙ මැද්දෙන් යාලුව කියනව අපිට අවුලක් නෑ මචන්.උඹේ පරන ලවු එක ගැන දන්නවද? දැන් පොඩි එකෙකුත් ඉන්නව බන්.
මොන මගුලක්ද මේ.මම අමතක කරපු ජීවිතය ආයෙත් මතක් කරන්නේ.හරි මචන් මම තියනව.

කෝච්චියෙන් බැහැල ආයෙත් ගෙදරට යද්දි වැස්ස.වැස්සෙම තෙමීගෙන ගියා.හරියට පොඩි කාලෙ වගේ.ජීවත් වෙයන් දැන්වත් මනුස්සයෙක් වගේ හිත කිවුවා.ඔව් ඒක ඇත්ත මම පිලිගත්තා.ආයෙත් කලින් වගේම සතුටින් ජීවත් වෙන්න පටන්ගත්ත.අලුත් ජොබ් එකක්.හැම දෙයක්ම අලුතෙන්.කුඩයකුත් ගත්ත.වැස්සට මීට පස්සෙ බෑ මට කරදර කරන්.සිකුරාද ගෙදර  එද්ද්දිත් වැස්ස.ආදරවන්තයින්ද ,විවාහකයින්ද තනිකඩයින්ද කුඩ යටින්ද වැස්සෙ තෙමෙමින්ද ගෙවල් වලට යනව.මම තනියම කුඩය යටින් ගෙදර යනව. 

වැස්ස කවදාවත් මාව අත අරින්නෙම නෑ.කඩපිලක් අයිනේ ආයෙත් තවත් අහිංසක ඇස් දෙකක් මගෙ දිහා බලාගෙන.නෑ මේ පාරත් දුක් විදින්න බෑ.මම අහක බලාගෙන ගෙදර ගියා.නාල කාල නිදාගන්න ඇදට ගියත් නින්ද යන්නෙ නෑ.අර ඇස් දෙක මතක් වෙනව.අම්මට ඇහැරවල කියල ගෙයින් එලියට බැස්ස.හන්දියේ ත්‍රීවීල් එකෙ මල්ලිට කෝල් එකක් දාල ආයෙත් ගියා ටවුන් එකට අර ඇස් දෙක හොයන්.වැස්ස පොඩ්ඩක්වත් අඩු නෑ.අනේ කවුරුහරි උස්සගෙන ගියාවත්ද..මොකක් හරි කරදරයක්වත් උනාද?උඹ හැමදාම වගේ පරක්කුයි.නෑ මේපාර මම දිනුම්.එයා හිටිය කානුවක් අස්සෙ.ලස්සනම ලස්සන බෝල ඇස් තියෙන කලුම කලු බලු පැටියෙක්.වැස්සට තෙමිල සීතලේ ගැහෙනව.රෑම ගෙනත් පිහ දාලා කිරිපොවල රෙදි පොරවල මගෙ කාමරේම.
 
දැන් ආයෙත් ජීවිතේ සතුටින්.ඉස්සර වගේම.මම වැඩ අරිල ගෙදර එනකොට ඇගට පැනල කලිසමෙන් අදින් තේ බොනකන් බලන් ඉන්න මගෙ පස්සෙන්ම එන හුරතල් බලු පැටියෙක් මාත් එක්ක ඉන්නව.වැස්ස වහිද්දි දැන් තව දෙයක් වෙනව.අම්මගෙන් බැනුම් අහන එක.මොකද බලු පැටියට වැස්ස වෙලාවට එලියට ගියාම ගෙට එද්දි කකුල් පිහාගෙන ගෙට එන පුරුද්දක් නැති නිසා......මේක ඇත්තම කතාවක්.කවදාවත් වැස්සට බනින් එපා.වැස්ස ජීවිතය අලුත් කරනව.බොරුනම් ඔයාලත් හිතල බලන්. මතක් කරල බලන්.වැස්සට ආදරය කරල බලන්.